කොලොන්නාව ගැන

ඉතිහාසය

හැදින්වීම

අතීතයේ සිට කැළණි ගං මිටියාවතේ  ජීවත් වූ ජනයාගේ ජීවිතය කැළණි ගඟ හා බැඳී පැවතිණි. මේ සොඳුරු නිම්නයෙහි ජනයාගේ අටු කොටු බත බුලතින් සරු කළේ සුන්දර කැළණි නදියයි. විටෙක ප්‍රචණ්ඩව ගම් බිම් සෝදා පාළු කරමින් දෙගොඩ තලා යන ගංවතුර නම් වූ සොබා දහමේ උරුමයට මේ ගං දෑලේ ජීවත් වූ වැසියෝ නිරන්තරව මුහුණ දුන්හ. එසේ වුවද කොළොන්නාව යනු සුන්දර ගම්මාන රැසකින් සැදුම් ලද්දකි.

කොලොන් ගස් යායක් වැවී තිබූ නිසා කොළොන්නාව යන නම මේ ප්‍රදේශයට වැටුණු බව ජනප්‍රවාදයයි. තවත් සමහරු කොලොන් ගස් යායක් මැද වැවක් තිබූ නිසා මෙම නම වැටුණු බව පවසති.

වතු දොළහකින්  මුළු හතරකින් ගොඩැලි නම් වූ උස් බිම් පහකින් යුතු කොළොන්නාවේ එකල ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වී ඇත්තේ සේදවත්තය.

වතු දොළහ වන්නේ

  1. සේදවත්ත
  2. කොහිලවත්ත
  3. කලටුවාවත්ත
  4. සාලවත්ත
  5. බ්‍රැන්ඩියාවත්ත
  6. ඔරුගොඩවත්ත
  7. කොටිකාවත්ත
  8. මදිනවත්ත
  9. වෙන්නවත්ත
  10. ගමගේවත්ත
  11. වෙලේවත්ත
  12. කුරුණියාවත්ත වේ.

මුළු හතර වන්නේ,

  1. මීතොටමුල්ල
  2. කැළණිමුල්ල
  3. සාලමුල්ල
  4. උඩුමුල්ල, යි.

ගොඩැලි පහ වන්නේ,

  1. වෙහෙරගොඩැල්ල
  2. කලවිටිගොඩැල්ල
  3. පැණියගොඩැල්ල
  4. ගණේගොඩැල්ල
  5. මාලිගාගොඩැල්ල, යි.

සීතාවක රාජසිංහ රජුගේ පුත් ටිකිරි කුමරු පෘතුගීසීන් සමග දරුණු සටනක් කර ජයගත් “මුල්ලේරියාව” ද කොළොන්නාවට අයත් ‍ඓතිහාසික ප්‍රදේශයකි.

සේදවත්ත වලව්ව, අඹගහ වලව්ව, තුඩුගල වලව්ව, ආදී පෞඪ වලව් පරපුරකටද කොළොන්නාව උරුමකම් කියනු ලබයි.

අතීතයේ සිට රමණීය භූමි ප්‍රදේශයක් වූ කොළොන්නාව කෘෂි කර්මාන්තය හොදින් කෙරුණු සශ්‍රීක පුරවරයක් බවට ප්‍රදේශයේ ඇති ඇළවේලි සාක්ෂි දරයි.

මීතොටමුල්ල පොතුවිල් කුඹුර මෑතකදී විශාල ඛේදවාචකයක් වූ කසළ කන්ද අපට සිහිපත් කළත් අතීතයේදී පොතුවිල් කුඹුර සාරවත් වෙල්යායක්ව පැවති බව අපගේ වැඩිහිටියෝ පවසති.

ස්වභාවික ආපදාවන්ට නිරන්තරයෙන් ගොදුරු වන ජනී ජනයා සමග එක්ව වඩාත් හිතකර සමාජ ආර්ථික දේශපාලනික අධ්‍යාපනික වටපිටාවක් කොළොන්නාව තුළ ඇති කිරීම කොළොන්නාව නගර සභාවේ අපේ අරමුණයි.

කොලොන්නාව පුරවරයේ පිහිටීම